ශල්‍යාගාරයේදී හමුවූ ඔහු…!

සැර එළි අකුණු මැද
හිසට එල්ලව තියුණු
හිම කැටි මිදෙන සීතලෙක
උඩුකුරුව වැතිර හිඳ

කඩි ගුලකි ඇවිස්සුණු
එහෙ මෙහෙ දුවන
මුඛ වාඩම් තොප්පිද පැළඳ
ගැහැණුද පිරිමිද අවිනිශ්චිතව
පාට පාටින් දික් ගවොම් හැඳ

වැසී පියෙන ඇස් කෙවෙනි අග
මැවී බොඳව යන
චායාවකි එකම එක
දුටු බවට කවදා හෝ පෙර දිනෙක
මුඛ වාඩමට ඉහලින් ඇරුණු
පුංචි හිඩැසෙන් හැඳින

හිඳුවා ඇඳ මත බාගෙට
අනී ඉඳිකටු තුඩග සියුම්ව
වසා කඩ තිරකින්
මුවා කළ දසුන
හිරි වැටී අඩපන නොවුණු සියොළඟ
ගසයි පණ නැගී කෙඳිරුම් තවම

තබා සැත් පිහිය සීරුවට
අදී දෙපලු වන්නට කුස් උරය
ඈත් කර සම් මස් දමා අඬු පඬු
ඇද ගන්නට තනන ළපටි මුහුණත
ඉකි බිඳුම් මැද ගැහෙන හදවත
පිහි දමා රැඳුනු වතුර මල්ලේ ශේෂ
නුදුටුවෙද ගුලිව උන් පෙරදා ආදර මතක

වැලි කෙලියේ සිට ඇරඹි
බෝදුරක් ගෙවුණු ඒ ඇසුර
හැරදමා පිටගම් ගියද නුබ එදින
දස මසක් පුරා එක් හිත්ව
ගැහි ගැහී තිබුණි හද සිරව
දකිනතුරු කිරි සිනාවක අරුම

නුඹ මටද මා නුඹට
අහිමි කළ අපෙ දුප්පත් කමම
රැගෙන විත් පාමුලට මතක පෙරදිනක
තබා යමි කඩ මාලුද සමග
ඔබ දොස්තරයි මා රෝගියෙකි අද දිනට

Leave a comment