නිරෝදායනය මුහුණුපොත සහ ළෙන්ගතුකම්

(ජංගම දුරකතනය නාද වේ…..)

මම: Hello අයියා…(සාමාන්‍ය උණුහුම්ව කෙනෙක් පිළිගන්නා ස්වරයෙන්)

ඔහු: (ටිකක් විතර දුක් ස්වරයෙන්…) දැන් කොහොමද මල්ලි..

මම: (ප්රහර්ෂයෙන්..) හොදයි අයියා.. ඔයාට කොහොමද ඉතින්

ඔහු:මම හොදින් මල්ලි. ඔයාලට ⁣පො….පොඩි කරදරයක් උනා …..ද…

මම: මො..මොන… කරදරයක්ද අයියා..

ඔහු: පහුගිය දවස්වල…මල්ලිලට…මේ. මේ….පොඩි…

මම: එහෙම මොකුත් වුනේ නෑ අයියා..ඇයි අයියාහ්..

ඔහු: fb එකෙත්…අර…..මම:ආහ්…ඔය…ඔය අහන්නෙ අර… quarrantine කවිය… ගැන වෙන්…නැති මයෙ හිතේ…ඔහු: ඔව් ඔව් මල්ලි..ඒක ඔයාලට වුන දෙයක් නෙවෙයිද එතකොට ?

*****

මේ අද උදේ ඇතිවුණ සත්‍ය සිද්ධියකි. ඔහු බිරිද සමග තංගල්ල මූලික රෝහලෙ මීට වසර කිහිපයකට පෙර එකම ඒකකයක රාජකාරි කළ වෛද්‍යවරයෙකි. සොහොයුරා හිතවත් ඉංජිනේරුවරයෙකි. කොටින්ම පවුලේ හිතවතෙකි. මා විසින් ලියා පළකළ කොරන්ටීන් කවියෙන් පසු, විවිධාකාරවූ ප්රතිචාර ලැබී තිබිණ. ඇතැමෙක් මැසෙන්ජර් ඔස්සේද, කෙටි පණිවුඩ ඔස්සේද සැප දුක් විමසා ඉක්මන් සුව ප්රාර්තනා කර තුබූ අතර දුරකතන ඇමතුමක්දී සුවදුක විමසා විස්තර කතා කළ පලමුවැන්නා ඔහු වීය.

තවදුරටත් නිරෝදායනය සදහා කඳවුරු වෙත ආශ්‍රිතයන් නොයවන පසුබිමක, කාට කොයි මොහොතක මේ අත්දැකීම ගෙදරදී හෝ විඳගන්නට වේදැයි කිවනොහැකි අවිනිශ්චිත වෙලාවක, සාමාන්‍ය එදිනෙදා කටයුතු තවමත් කරමින් සුවසේ ඉන්නා වෙලාවක, අහම්බෙන් මුණගැහුණු මේ හැඟීම නුහුරුය. නුපුරුදුය. වෙනස්ය. තවදුරටත් ජීවිතය දෙස එබී ගැඹුර දකින්නට හිත එළවන සුළුය. ඇත්තටම මෙවැනි හිතමිතුරන් මැද දිවි ගෙවන්නට වීමම ජීවිතය සසරට දිනකින් හෝ බැදතබන සුළු ආහ්ලාදයකි.

පරිකල්පනය මත නිදහසේ ගොඩනැගූ මේ කවිය, සැබවින්ම එවැනි අත්දැකීමක් වින්ද මොහොතකද හිත එකලාසයක් කරන් ගොඩනැගීමට තරම් සංයමශීලීදැයි නොඇසුවමනාය. අපි කවුරුත් මිනිස්සුය. අපගැන සොයාබැලූ නම් සදහන් කළ නොකළ හැමටම ලැබෙන්නට, මේ සමග තුති මල් මිටක් විසි කරමි. කොරෝනා පහවගිය සවසක අපි මුණගැහෙමු. කතා කරමු. එතෙක් ගෙදරම ඉමු!

Leave a comment