පවුරු වළලු, ප්‍රසන්න සහ අපේ තාත්තා

ගාලු කොටුවේ පැරණි දොරකඩින් හැරුණු CL -9449 අංක තහඩුව දරණ කළු පැහැති මොරිස් මයිනර් රථය පටු වීදියකට අවතීර්ණව ලී අත්වැටක් සහිත නිවසක් ළඟ සෙමෙන් නතර වීය. එයින් බට, සුදු අත් දිග කමීසයකින් හා සුදු සරමකින් සැරසුණු, ඕලන්ද බොක්ක දෙසින් චන්ඩව හමා එන සුළඟටද නමා අවුළුවා හරින්නට නොහැකිවනසේ කොණ්ඩය ජෙල්ගා පස්සට පීරූ අපේ තාත්තාය. පසෙකින් තම කැමරාව මානා ගෙන අධ්‍යක්ෂකගෙන් විධානයක් ලැබෙන තෙක් බලා හිඳින සුමින්ද වීරසිංහය. පිටුපසින් විදුලි ආලෝක ධාරා දිගෑරුනු කුඩ වන් පරිවර්තක හරහා තාත්තගේද, මහේන්ද්‍ර පෙරේරාගේද මුහුණෙහි අඳුර මකන්නට වලිකන සහය ශිල්පියෝය. ඉදිරියට මදක් නෙරුණු දත් පෙළකින් නිතර විවර ගිය මුවින්, බාගෙට ඇරුණු තොල් දෙපට අතරින් නිරන්තරව පනිනා මදහසින්ද, මුහුණට නැති වටකුරු බවක් හිසට එක්කළ කැරළි ගැහුණු බොකුටු කොන්ඩයකින්ද පිරි නොඋස් කුඩා මිනිසෙක් ඒ සියල්ලන්ම වතුර දමා පදමට ඇනු මැටි පිඩක්සේ මෙහෙයවමින් ස්වකීය කාර්යයටම තදින් ඇළී සිටියේය. හේ අන්කිසිවෙක් නොව, මෙවර හොඳම අධ්‍යක්ෂණය සඳහා හිරු රන් සම්මානය දිනු ප්‍රසන්න විතානගේය.

ඔහු දිනු මේ රන් සම්මානය අදින් වසර විස්සකට එහා ගිය මතකයකට මා සිත “පවුරු වළල්ලෙන්” ඔබ්බට සැනෙන් රැගෙන ගියේය. මට මතක හැටියට ඒ නවසිය අනු හතර හෝ අනු පහයි. අනන්ත රාත්‍රිය කල අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ගැන යාන්තමින් අසා තිබෙන්නට ඇතත් දැක නොතිබූ බව ඒකාන්තය. පැරණි මෝටර් රථ එකතු කිරීමේ නොනිත් ආසාවකින් පෙළුණු අපේ තාත්තා ළඟ ඒ දිනවල තිබුනේ බස්සා මොඩල් මොරිස් මයිනර් සැලූන් කාරයකි. එවන් කාර් එකතු කරන්නන්ගේ එකතුවක්ද ගොඩනගා ගෙන සිටි එහිමියන් අතර තාත්තා පෙරමුණ ගත්තේය. දිනක් අපේ ගෙදර ගේට්ටුවට තට්ටු කොට වාහනේ අයිතිකාරයා සිටිත්දැයි විමසමින් සිටි පිරිමි දෙදෙනෙක් සහ තවත් කාන්තාවක් අතර හොඳින් දැක පුරුදු මුහුණක් වීය. එය කෙසේ කොහොම පුරුදු මුණක්දැයි නිච්චියක් නැතුව සිටින විට ඔහු දැක අපේ ගේට්ටුව අසලට එක්වුනු කවුදෝ ඒ කවරෙක්දැයි අනෙක් කුහුලින් පිරි අන් අයට මතක් කළේය. “මේ අර TV එකේ රඟපාන මහේන්ද්‍ර පෙරේරා නේන්නං” අවසානයේදී රැස්ව සිටි සියල්ලෝ එය එකච්චන්දෙන් අනුමත කල අයුරු අදද සිහි කලහැක.

පවුරු වළලු චිත්‍රපටයේ සම කලා අධ්‍යක්ෂවරයා වූ මහේන්ද්‍ර ඔත්තුවකට අනුව පරණ කාර් සොයා අපේ දිහා ආවේ ඔහොමය. ගණන් හිලවු ගැන නොතකන අපේ තාත්තා ඔහු සමග ඉන්තේරුවෙන්ම කතා කර ගන්න ඇත්තේ කවද කොහෙට මයිනර් එක රැගෙන අයුතු බව නිසැකය. ඉන්පසු ගෙවුණු දින දෙක තුනේද ගෙදර ආ නොආ සැමටම “මට කාර් එකත් එක්ක රඟපාන්න අඬගැහුවා” යැයි පාරම් බෑවේ ඒ වනවිටත් කාර් එක එළවන්නේ කවුදැයි සහසුදෙන්න්ම දන්නේද නැතිවය.

නියමිත දින වෙලපහින්ම නා කියාගෙන මයිනර් එකද සෝදා පිරිසිඳු කරගත් තාත්තා, මාත් අයියාත් මතු නොව අපේ වත්ත අහින්නට නිතර එන “සුප්පයියා” නම්වූ දෙමළ සීයාද ගෙවල් ළඟ ගෙදරක තරුණ කොල්ලෙක්වූ අජිත්ද ගමනට එක කර ගන්නට අමතක කලේ නැත. අපි යනවිටත් ෂූටිං පටන් ගෙන තිබු අතර මා දුටු පළමු රුප රාමුව වුවේ, කර මට්ටමට කපා වනා ගෙන තිබු කොණ්ඩය ඇඳ මත විසිරුවා, එක ඇලයකට හැරී හාන්සි වී, වැලමිට ලඟින් නැමුණු දකුනතට ගත්‍ පොතක් කියවමින් සිටි සුරූපී සංගීතා වීරරත්නය. ඊළඟ ජවනිකාව වුයේ යටකී පරිදි සංගීතාගේ අක්කා වූ දමයන්ති ෆොන්සේකාත් ඇගේ සමියාවූ මහේන්ද්‍ර පෙරේරාත් අපේ තාත්තා ගේ කාරයෙන් නීටා ප්‍රනාන්දුත් සංගීතාත් විසු ගාලු කොටුවේ වූ ගෙදරට කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පැමිණි දර්ශනයයි. ප්‍රසන්න විතානගේගේ කෘතහස්ත අධ්‍යක්ෂණයෙන්, වදනකුදු තෙපලන්නට නොතිබූ, තමන් එලවාගෙන පැමිණි කාරයෙන් බැස මහේන්ද්රට බහින්නට පසුපස විවර කර දීමේ අපුරුවූත්, ගැඹුරු වූත් දර්ශනය රඟපාමින් අපෙ තාත්තා නළුවකු ලෙස කලඑළි බැස්සේ එලෙසයි. කසාද බැඳ අවුරුදු තිස්අටක්ම ක්ම ගෙවුනද අදද අපේ අම්මාටද හික්මවාගත නොහෙණු තාත්තාව තත්පර කීපයකට හෝ අධ්‍යක්ෂණය කිරීමම ප්‍රසන්නගේ සිනමා මගේ අද්විතීය මන් සලකුනෙකි!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s