මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්.. මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්….

අපි බොහෝ දෙනෙක් TV බලන්න පුරුදු වෙලා හිටියට රේඩියෝ අහන්න පුරුද්දක් නෑ. අපිට පුරුදු, රේඩියෝව ඇහෙන්න සලස්වලා අපේ වැඩක් කරගන්නයි. ඒ අතරිනුත් බහුතරයකට පුරුදු, වාහනේ යනගමන් ඇහෙන දෙකට කන් යොමන්න. ඔය වැඩේ මටත් අදාලයි. උදේට ගෙදර ඉඳල යනගමන්, කෑමට ඇවිත් සහ යනගමන්, හවසට වැඩ ඇරිලා එන ගමන් කියන කාල පරාසයන්ට අමතරව රාජකාරි දවස්වල පෑ දෙක තුනක් site යනවෙලාවත් ඕකට එකතු වෙනවා. එහෙම බැලුවහම අපිත් කෝටිපතියෝ වෙලා තියෙන්න ඕන මෙලහකට ඔය බෙදන සල්ලි කන්දරාවේ හැටියට.

මට ඔය ඔක්කොම මතක් උනේ අද උදේ ඇහිච්ච සින්දුවක් එක්ක. අද වගේ fb wall post නැති කාලේ, ඉස්කෝලේ නිවාඩු දෙනදාක පන්තියේ කළු ලෑල්ලේ ලියපු ගී පද දෙකක් වෙත මගේ හිත අරන් පියඹන්න ඔය කියන ගීයෙන් නන්දා මාලනියට හැකි උනා.

“මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්..
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්..
පවුරු වළල්ලෙන් එහා රටේ..
අප දෙදෙනා වෙනුවෙන්..
මල් පිපේවි ආදරේ නමින්..//”

මට ඇත්තටම ලියන්න ඕන උනේ ඔන්න ඔය පේලි පහම . එත් මොකක්දෝ අහේතුවකට පළමු පද දෙකින් එහාට ලියන්න කළු ලාල්ලේ ඉඩ මදි උනා. මට මතක විදියට මම හිටියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලේ 10F පන්තියේ. ශ්‍රේණි භාර ගුරුවරයාගේ කාමරයත් ගුරු විවෙකාගාරයත් පිහිටලා තිබ්බේ අපේ පන්තියට හරියටම ඉස්සරහින්. අපි එදා වාර අවසාන ප්‍රධාන රැස්වීමට ගිහින් ඇවිත් 1,2,3 ස්ථාන වලට එපිටින් හිටපු අයගේ ප්‍රගති වාර්තා ලැබෙනකම් බලා හිටිය වෙලාව. ටිකක් වෙලා යනකොට පන්තියේ සද්දේ ටිකක් වැඩි වෙන්න ඇති. එක්වරම ශ්‍රේණි භාර ආචාර්ය විජේවර්ධන sir ආවේ මොකද මේ කෑගැහිල්ල කියල බලන්න වෙන්න ඕන. ඇතුල්වෙන කොටම කළු ලෑල්ල පේන තැනකයි දොරකඩ පිහිටලා තිබ්බේ. දොරකඩින් ඇතුළුවෙලා අඩි දෙකතුනක්වත් නොආපු එතුමා තමන් ආවේ කෑගහපු එවුන් අල්ලන්න බවත් අමතක වෙලා අපි ඉඳන් හිටපු පැත්තට හැරිලා “කවුද මේක ලිව්වේ” කියල මහා හඬින් ගිගිරුවා. මේක ඒවනවිට රටේ ජනප්‍රිය වෙමින් පැවැති, යොවුන් ප්‍රේමයකට එදිරිව නැගි ඥාති හිතමිත්‍රාදී පාර්ශ්වයන්ට එළෙස නොකරන්නැයි ආයාචනාත්මකව ප්රෙමවන්තයෙකගේ පැත්තෙන් ලියවුනු ගීයකැයි එතුමන් නොදැන සිටින්නට ඇතැයි අදද මට සිතේ. කලාව රසවින්දනයේ ඉතා සියුම් තැන් ස්පර්ශ කල ඒතුමෝ අපටද එහි මහරුත් උපමා, උපමේය ගලපා රස නිෂ්පත්තියේ භාවයන් තේරූ බහුශ්‍රුතයෙක් වුනද ජීවිතයේ කිසිදාක නොඇසි ගීයක පළමු පද දෙක පමණක් කියවා එවැන්නක් වටහා නොගැනීම අරුමයක්ද?

වෙනදා සිතෙහි නගින කෝපාග්නිය සියුම්ව මඩනා ලද සමච්චල් සහගත සිනාවකින් වසා අප අමතන එතුමන් කිසිදු සිනාවක සලකුණකුදු නැති රත් පැහැ මුහුණින් නැවත ඇසුවේ මේක ලියපු එකා කවුදැයි කියාය. තම මවද ආචාර්ය මණ්ඩලේ සිටි, එනිසාම එහිසියලු දෙනා හොඳින් දැන හැඳින සිටි ටිරෝෂ රත්නසේකර වහා නැගිට නමින් හඟවා ඉන් නොසැහී ඇඟිල්ලද දික්කොට මා පෙන්වීයේ පන්තියේ සියල්ලන්ම මවිත කරමින්ය. ඉන්තේරුවෙන්ම ඔහු සිතන්නට ඇත්තේ මෙය විහිළුවකින් කෙලවරවනු ඇතැයි කියාය. සිදුවුයේ අනෙකකි. තමා පිටුපසට කරන පැමිණි වේවැලෙන් එතැනම දෙවරක් තලා, කුදලාගෙන ගිය මා ඒවනවිට ගුරු විවේකාගාරයේ රැස්ව සිටි සියලු දෙනාටද පෙන්වා ලබන පාසල් වාරයේ මුල් දිනයේ තාත්තා නැතුව නැවත නොපැමිණෙන ලෙසද දන්වා මුදා හැරියේය.

තමන් සිදුකල ‘සොඳුරු පාවාදීමෙන්’ කැළබී සිටි ටිරෝෂ පසු පසින් පැමිණ ආයාචනා නොකරන්නට එදා එකී තීරණය වෙනස් නොවන්නටද මගේ දෛවය වෙනස් වන්නටද තිබිණ. කෙසේවෙතත් විශ්ව විද්‍යාලයේ තීන්ත බාල්දි, පෝස්ටර් මිටි ගණන් සහ උපරිම නිදහසටද සිඳින්නට නොහිනු පැනේ යදම්, සකර්බර්ග් බුකියේ ලියන්නට ඉඩහසර දෙනතුරා, මා වෙලා සිටි බව ඔහුට ගෞරව පිණිස මෙහිලා ලිවිය යුතුවම පවතී.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s