සෙනුජ

සෙනුජ කියන්නේ අපේ එකම පුතා. වයසින් අවුරුදු දෙකකුත් මාස දෙකක්. ඔය වයසේ ළමයි ඉන්න අම්මල තාත්තලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමන්ගේ ළමයට කවන එක කියලයි මටනම් හිතෙන්නේ. හරියටම කියනවනම්, විසදුමක් ලැබෙනවනම්, පාදයාත්‍රාවක් උනත් යන්න ඕන තරම් ඒක උච්ච දැවෙන ප්‍රශ්නයක්.
අපි දෙන්නම ගෙදර නැත්නම් උවනිගේ තාත්ත තමයි පුතාට කවන්නේ. දෙන්නම ඉඳලත් කවන්න ගිහින් තාත්තගේ විදේශ ආධාර ඉල්ලන්න වෙන අවස්ථාත් බොහොමයි. කොහොම හරි අපි තුන්දෙනාම නැති වෙච්චදාක, සෙනුජ බලාගන්න එන ආන්ටිට කවන රාජකාරිය බාර වෙලා තිබුණා. තමන්ගේ ළමයිත් එක්කම ජීවන බර එක්ක ඔට්ටු වෙන්න පුරුදු වෙලා ඉන්න ඈ වැනි කෙනෙක් සාමාන්‍යෙන් කරන විදිහටම එදා ඒ අභියෝගය ඈ ජයගෙන තිබුණා. අපි දැනගත්තේ, එදා පටන් සෙනුජ තමන්ට කවන්න හදනකොටම “පුතා කන්න ඕන.. ඕනා…” කියල පිඟාන ඉල්ලන් ඇවිටිලි කරන්න ගත්තට පස්සේ. (ඔය පුතා කියන එකත් සෙනුජ භාවිතා කරන්නේ තමන්ගේ නමේම කොටසක් විදිහටයි. නිතර තමන්ව ආමන්ත්‍රණය කරන පුතා කියන කෑල්ල එයත් දැන් තමන්ව හඳුන්වා දෙන්න පාවිච්චි කරන්නේ කිසිම පූර්ව අවසරයකින් තොරව)

ඔහොම පිඟාන ඉල්ලන් කන්න ගන්න වැඩෙත් අවස්ථා දෙකේදීම පාවිච්චි කරන්න පුළුවන් කියල සේනුජගේ පුංචි මොළේට දැනටමත් තේරිලා. ඇත්තටම කන්න ඕන උනාම වගේම බොරුවට අන අන කාලේ නාස්ති කරලා හබුන් නොකා ඉන්නත් පිඟාන අතට ගන්නවා. අත සෝදලා පුටුවේ ඉන්දවල සෙනුජ අතට පිඟාන දීල අපි ළඟින් වාඩි වෙලා කන හැටි බලන් ඉන්නවා. ඔහොම ඉන්නවෙලාවට දැන් සෙනුජ හරි අපුරු දෙයක් කරනවා. තමන්ගේ ළඟ ඉඳන් ඉන්නේ කවුද කියල බලල, “අම්ම කන්න ඕන.. තාත්ත කන්න ඕන කියල…” එයාගේ පිඟානෙන් අපිට කටක් දෙකක් තමන් කන අතරේ කවනවා. කාලා හිටියත් එහෙම නැත්නම් බඩගිනි නැතුව හිටියත් ඔය වෙලාවට අපිට කන්නම සිද්ද වෙනවා.

මට ඔය සිද්දි ඔක්කොම මතක් උනේ මිතුරියක යොමු කරලා තිබ්බ විද්‍යුත් ලිපියක සඳහන්ව තිබුණු කතාවක් එක්කයි. මේ කතාවෙත් ඉන්නවා සෙනුජ වගේම පුංචි ගෑනු ළමයෙක් ඉසබෙලා කියල වයස අවුරුදු හයක. දිනක් මේ පුංචි ඉසබෙලාට තාත්ත ඇපල් ගෙඩි දෙකක් ගෙනත් දෙනවා. එකක්වත් නොකා හවස අම්ම වැඩ ඇරිලා එනකම් තියාගෙන ඉඳල ඉසබෙලා මේ ඇපල් ඈට පෙන්නනවා. අම්ම ඇපල් සෝදලා පුංචි පිහියක් එක්ක නැවත ඉසබෙලා අතටම දීලා කියනවා දුව ඔයා ඕක කන්න කියල. ඔහොම කන අතරේ තාත්ත ඇවිත් කියනවා දුවේ ඕකෙන් කෑල්ලක් අම්මට කවන්න කියල. එතකොටත් ඈ එක ගෙඩියක හරි අඩක් විතර කාල හිටියේ. ඈ තකහනියේ තමන් කන්න පටන් ගෙන හිටිය ඇපල් ගෙඩිය පැත්තකින් තියල අනෙක් ගෙඩියෙන් කෑල්ලක් කපල ආයෙ තනියෙම කනවා.මේ දිහා බලන් හිටපු අම්ම කඳුළු බින්දු ඇස් දෙකේ පුරෝගෙන ගේ ඇතුළට හෙමින් පියනගනවා. කරපු වැඩෙන් තාත්තගේ හිතටත් පුංචි දුකක් මෝදු උනත් හිතට දිරි අරන් හෙමින් හිස පිරිමදින ගමන් ඔහු අහනවා “ඇයි දුවේ ඔයා අම්මට නොදී අනෙක් ගෙඩියෙනුත් කෑල්ලක් කෑවෙ” කියල. පුංචි ඉසබෙලා නළල රැලි කරන් උඩට ඇදපු හුස්මත් තදකරන් කියනවා “තාත්ත.. මම කකා හිටපු ඇපල් ගෙඩියේ රස දන්නවා. ඒඋනාට දෙවෙනි එක අරකට වඩා රස උනානම්…… රස ගෙඩිය හොයාගන්නයි දෙකම කාල බැලුවේ” කියලා.

ඒ ඉසබෙලා වැරදිලා හරි අපේ පුංචි සෙනුජ උනානම්…

Advertisements

2 Comments Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s