චීන්නු

අමු සිංහලෙන් ලියූ බෝඩ් උස්සගෙන, තම ජීවිත වලට ආරක්ෂාව ඉල්ලා උද්ගෝෂණ කළ චීන්නු ගැන කතාව දැන් ටිකක් පැරණිය.
මාහට මුලින්ම චීන ජාතිකයින් හා එකට වැඩ කිරීමට ලැබෙන්නේ හම්බන්තොටට ලද මාරුවත් සමගිනි. ඒ එය චීන exim බැංකුවෙන් ලද ණය මුදලකින් කෙරුණු මාර්ග ව්‍යාපෘතියක් නිසාය. ණය දීමෙන් නොනැවතී කොන්ත්‍රාතුවද තම රටට ගැනීමේ චීන ප්‍රතිපත්තිය නිසා ලද අවස්තාවක් යයි වැඩිදුරටත් කිවහැක. ඒවනවිටද මා චීන ජාතිකයින් හඳුනාගෙන තිබුනේ පුංචි, දිගැති ඇස්, ඉත්තෑකූරුවන් කොණ්ඩා සහ රෝසකහ පැහැති සමක් ඇති මිනිසුන් කොටසක් ලෙසය. හම්බන්තොටට පා තබා පෑ කිහිපයක් ගතවෙන්න මත්තෙන් චීනුන් වර්ග ගණන එහි ජනගහනය සේම ඇති විශාල ඉලක්කමකැයි මා විසින් දක්නා ලදී. “හැම පිරිමියම එක වගේයි” කියනා ලද්දේ තම ස්වාමියා සොයා ගත නොහිණු අස්වාමික චීන කතකැයි ජනප්‍රවාදයෙහි ඇති කතාව කොතරම් නිවැරදිදැයි අවබෝධ වනවිට තවත් පෑ කිහිපයක් අවරට ගොස් තිබුණි.

ඔවුන්ගේ ආහාර පරිබෝජනය ගැනද අටෝ රාසියක් කතා තිබේ. දකින දකින බල්ලන් මරා ආහාරයට ගනිතැයි කියවෙන්න ඉනුදු මුලින්ම එන්නකි. වසර 2011 සිට චීන ණය ව්‍යාපෘතිවල වැඩ කරනා මාවිසින් ඒසඳහා එකදු සාක්ෂ්‍යක් මෙතෙක් අත්දැක ගෙන නැත. ඔවුන්ගේ නිවස්න ආශ්‍රිතව බලු ගහනයේ පහල යාමක් සිදුවීදැයි කියන්නට තරම් ළඟ පාතක මා ජීවත්ව සිටද නැත. අනෙකුත් උරග, පක්ෂිද ආහාර පිණිස ගනුලැබ ඇතැයි සාක්ෂ්‍යක් ලෙස ගතහැකි ඇට කැබැල්ලක්හෝ පස් කණින එක්ස්කැවේටරයක කුල්ලේ පැටලී වැඩබිමකින් මතුව නැත. නමුත් මා මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත අන්තර් හුවමාරුවේ සේවය කරද්දී, වැට අයිනේ කුඩා වලක තිබු මොනර බිත්තර කිහිපයක් දුටු චීනෙක් ඒවා එතනින් ඉවත්කර වෙනත් තැනක ආරක්ෂිතව තැම්පත් කරනු දුටිම්. අප වැඩ ඇරී ගෙදර යනතෙක් තාවකාලිකව සඟවා පසුව බිත්තර උස්සන්න ඇති සකසිතු මා පසුදින උදේම එතන හාර බැලූ අයුරු අදද සිහිකලහැක. බිත්තර එලෙසම තිබු බව එම චීනාට ගෞරව පිණිස මෙහිලා සටහන් කොට තබතත් හැම චීනාම එසේදැයි කියන්නට දන්නේ නැත.

චීන අවන්හල් ගැනද නොලියාම බැරිය. ලංකාවේ අඩියක් අඩියක් පාසා ඉදිකොට ඇති පන්නයේ චීන අවන්හල් එහේනම් කොතනකවත් නැත. දින විසි තුනකට නොඅඩු දීර්ග සංචාරයක යෙදුනු මා බීජිං, ෂන්හයි සහ ක්ෂියාන් යන නගර තුනෙහිම දින ගණනාවක් රැදී සිටියෙමි. බොහෝ දුරක් පයින් ඇවිද ගියෙමි. එහෙත් මේ වර්ගයේ චීන අවන්හලක් නම් නොදුටීම්!

තනි කුරියා ලෙස මාළුවාම නොකපා තම්බා කන ක්‍රමයක් එහෙ තිබේ. ඇතැම් තන්හි එය, අවන්හල ඉදිරිපස වීදුරු ටැංකියක ප්‍රදර්ශනය කොට පාරිභෝකියාටම තමන් කැමති මාළුවා අරක්කැමියාට තෝරා දිය හැකි තරමට විස්තීරණ වේ. මාළුවා තේරීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද එකම පොදු කාරනයක්නම් මෙහිලා පවතී. එනම් මාළුවා තැම්බීමට ඔවුන් බාවිතා කරන විනාකිරි වැනි දියරයේ ඇති ගන්ධයයි. නාස්පුඩු අකුලා ගුලි කරන එයටම ආවේනික ගන්ධය, මසකට වරක් එළඹෙන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම අවසානයේ බෝජන සංග්‍රහයේදී ඉවසා සිටි මාහට, එක දිගට දින විසි ගණනක් විඳ ගන්නට ලැබුණු මතකය කඩදාසි අත්පිස්නාවක හෝ ගුලිකර දමන්නට හොවැන්හෝ ගඟවත් ළඟ පාතක තිබුනේ නැත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s