සුදු අත්තම්මා

පි බොහෝ දෙනෙක් උපදිනකොට අත්තම්මලා දෙන්නම ජීවත්ව ඉන්නවා. සමහරක් දෙනෙක්ට අඩු ගනනේ එක්කෙනෙක්වත් ඉන්නවා. කලාතුරකින් දෙන්නම නැති අයත් ඉන්නවා. ඔයින් මං අයිති වෙන්නේ පළමු කාන්ඩෙට. හැබැයි එයින් වැඩි කාලයක් ගත කරන්න ලැබුනේ තාත්තගේ අම්මත් එක්ක. එහෙම නැත්නම් ‘සුදු අත්තම්ම’ එක්ක. ඒකත් හරි අපුරු අහම්බයක්. තාත්තගේ පවුලේ සාමාජිකයෝ දෙන්නයි. අපේ තාත්තා ඉන් වැඩිමලා. හරි නම් මහ ගෙදර ලැබෙන්න ඕන බාප්පට. නමුත් ඒක එහෙම වෙලා තිබුනේ නෑ.

සුදු අත්තම්ම් මහ ලොකුවට ඉස්කොලේ ගිහින් විබාග පාස් කරලා තිබුනේ නැති උනාට හරිම බුද්ධිමත්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඕවර්සියර් කෙනෙක් වෙච්ච සීය වැඩ කරලා තිබුනේ ගමෙන් ඈත. මං හිතන්නේ වවුනියාව පැත්තේද කොහෙද. මාස තුන හතරකට වතාවක් ඇවිත් ගිය සීය, දරුවන්ගේ කටයුතු බොහොමයක් අතපසු කරගන්න ඇති. එහෙම බැලුවහම බාප්පා වාරි මාර්ගේ සහකාර ඉංජිනේරුවෙක් කරන්නයි, අපේ තාත්ත ගුරුවරයෙක් කරන්නයි අත්තම්ම කොයිතරම් දුක් කන්දක් තනියෙන් උහුලන්න ඇතිද?

අපේ තාත්තලගේ ඉඩම් පිහිටලා තිබුනේ පටු තීර විදියට. ගාල්ල-බද්දේගම මහ පාරෙන් පටන් අරන් ඈත ඉහත්තාවේ මලපලාව වෙල් යාය තෙක්ම ඒ ඉඩම් පටිය දික් උනා. සීයගේ අක්කල දෙන්නෙකුටත් ඒවගේම ඉඩම් පටි හිමි වෙලා තිබුනා. ඉතින් මහ ගෙදර පිටිපස්සේ ඉතිරි උන ඉඩේ කන්ද කැපුවත් තව ගෙයක් හදන්න බැරි නිසා දෙන්නගෙන් එක් කෙනෙකුට වෙන තැනක් තෝර ගන්න වෙන්න ඇති. කොන්ත්‍රාත් එහෙම කරලා හොඳට හරි හම්බ කළ බාප්පා සොච්චන් ගුරු පඩියක් ලැබුණු තාත්තටම මහ ගෙදර දීල, ගෙවල් දෙකක් එහායින් අලුතින් ඉඩමක් අරං ගේ හදපු නිසා අපේ තාත්තට මහගේ ලැබෙන්න ඇති මයේ හිතේ. ඒනිසා රම්‍ය සුරම්‍ය වගේ වැහි කාලෙට එක පුතෙක්ගේ මාලිගෙකයි අනිත් කාලෙට අනිකෙයි හුවක දුරකින් වසන්න අත්තම්ම වාසනාවන්ත උනා. පාරේ එකම පැත්තේ ගෙවල් දෙකම පිහිටලා තිබුනත් ඔය යාර සීය පහු කරලා එහා ගෙදරට යන්න පාර මාරු කරලා යන පුරුද්දක් අත්තම්මට තිබුණ. තද වංගුවක් හරහා වෙන් වෙච්ච තැනක එහෙම අවදානමක් ගන්නේ ඇයි කියල අහන හැමෝටම ඈ දුන්නේ එකම උත්තරයක්‌. “අල්ලපු ගෙදර අලස් ලා කොඩිවින කරලා පන්නපු නූල් තියෙද්දී මං කොහොමෙයි ඔතනින් එහාට යන්නේ”?

මට මතක කාලය වනවිට ඇගේ සියලු කෙස් පැහී කපු පුළුන් කුල්ලක් සේ දිස්වුනි. සිහින් කෙසඟ සිරුරක් හිමිවූ ඈ,ලේස් රෙද්දෙන් අත් දිගට මැසුනු සුදු හැට්ටයකින්ද සිහිනිඟ වටා කිහිප වරක් එතුණු මල් මල් චීත්තයකින්ද සැරසී ගෙන ගෙදරට සිටියද එක ගෙදරකින් අනෙකට මාරු වන හැමවතාවකම, තරමක් විශාල පුළුන් පිප්පුණු වූල් සාළුවකින් නොවැරදීම දෙවුර වසා ගත්තීය. ඒ ඇයිදැයි අසන කාටවුව, මට හරි හීතැලයි කියතත්, පිටි පසින් කර පළල්ව ඇරුණු ස්වකීය සුදු පැහැ වුණු පිට හංගා ගැනීමට දරන නොනිම් වෙර ගිනි මද්දහනේදී මනාව දිස්වීය. මුල් කාලයේදී තැනින් තැන කළු සුදු ගෝමර සේ තිබිණු හම කාලයේ අවෑමෙන් තනිකරම සුදු පැහැ වූයේ ඇගේ කාරුණික පෙනුම තවත් තීව්‍ර කරවමිනි. පෙර දිනක මීයෙක් සපා කෑමෙන් තමන්ට මේ කුරිරු ඉරණම අත්විනැයි දැඩිසේ විස්වාස කළ ඈ, මස් මාංස අනුභවය වැළකීමෙන් නොනැවතී තමන්ට දෂ්ට කොට ලේ උරා බීමට පැමිණි මැසි මදුරු ප්රානීන්ද මෙත් සිතින් ඉවසා සිටියාය.

සීයාගේ අවෑමෙන් තමන්ට හිමිවූ විශ්‍රාම වැටුප, එවැන්නක් නොලබන ගමේ සෙසු පිරිසට වඩා සියුම් අභිමානයකින් ඉවසා සිටි ඈ වඩා ක්‍රමානුකුල, අරපිරිමැස් විධික්‍රමයකින් එය භාවිතයේ යෙදවුවාය. තමන්ගේ මල ගමට සෑම මසකම මුදලක් ඉතිරි කොට බැංකුවේ තැම්පත් කළ ඈ, අපේ ගෙදරත්, බාප්පලාගේ ගෙදරත් හිටි එකම මිනිබිරියවූ සුදු අක්කා නමින්, මට මතක හැටියට මසකට එවක වටිනාකමින් රු. 50 බැර කොට ගිණුමක් නඩත්තු කළාය. වෙනත් පිටි වර්ගයක් කිසිදා නොබිවු අත්තම්ම, නෙස්ටොමෝල්ට් ටින් 4ක් ම එකවර ගෙන ආවෙ ඊළඟ පඩි දිනය තෙක් සෑහෙනසේය. තැපැල් කන්තෝරුවේ සිට එන අතර, අසල පිහිටි තට්ටු දෙකේ කඩයෙන් එකී සියලු කළමනා මිලදී ගත් ඈ, ලෙමන් පෆ් පැකට්ටුවක් මාවෙනුවෙන් වෙන් කරගෙන ඒමට අමතක නොකළාය.

අත්තම්ම ගැන හොඳම මතකය ඇත්තේ ඈ මගේ වයස කීම සම්බන්ධයෙන්ය. කුඩා කළ වයසට සරිලන වැඩුණු සිරුරක් හිමිනොවූ මාගේ වයස ආත්තමගේ කැලැන්ඩරයේ අවුරුදු තුනෙන් ඔබ්බට කිසිදා ගමන්කළේ නැත. කුස්සියේ දොරකඩ අසල තිබුණු නිල්පාට නොඋස් පුටුවේ හිඳ, ඔඩොක්කුවේ වාඩි කරගෙන සෙමෙන් මගෙ හිස පිරිමදින ගමන් සුපුරුදු පැනය අම්මගෙන් අසන්නීය. “ඈ දුවේ, හිච්චි පුතාට දැන් වයස කීයෙයි?”. දැන් අවුරුදු හයක් වෙනවායි අම්ම පිළිවදන් දෙන්නී ඕ නිරත රාජකාරිය දිගටම නිමග්නවය. ප්‍රශ්නය එතරම්ම වතාවක් අත්තම්ම අසා ඇතුවාට සැකයක් නැත. කොක්හඬ පරයා අත්තම්මගේ සිහින් මුව විවරවෙයි. “මං හිතුවේ තාම තුනයි කියලා” හිනාව නතර වීමට පෙරාතුව කියන ඈ විචිකිචාවකින් මඩනා ලද මුහුණින් මගේ මුහුණට නැවත එබෙයි. ඔඩොක්කුවේ විඳි ඒ උණුහුම මට තාමත් දැනේ!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s