මිතුරකු ගැන ජීවිතයේ එකම එක වරක් තැබෙන හෘදයාංගම සටහන

මා ඇතැම් මිනිසුන් අරභයා, නේක හේතු පාදක කර, බොහෝ සටහන් තබා තිබේ. ඒ අතරින් මාගේ ළබැඳි මිතුරන් ගැන තැබූ සටහන් ජීවනමගේ පියසටහන්ව අදද මතකෙට නිරායාසයෙන් නැගෙත්. අංකුර නළු පුබුදු චතුරංග (ඔහු මහා නළුවෙකැයි හඳුන්වාදී මුරුංග අත්තක හිඳවීමට මට හිත නොදේ), පියාසර ලුතිනන් මොනාත් පෙරේරා, කපිතාන් සඳුන් කොඩිතුවක්කු, ගණිත ඇදුරු උදේෂ් ජාගොඩ මෙතරින් කිහිපදෙනෙකි. ඉන් සමහරක් දෙනා සටහන තැබෙන විට මෙලොව ජීවත්ව සිටියේ නැත. ඇතැමුන්ට සටහන දකින්නට මුහුණු පොතට එබෙන්නට ඉඩපාසු තිබුනේ නැත. එහෙත් මේ සටහනෙහි දැක්වෙන්නා ජීවත්ව සිටිමින් මෙය නිසැකවම කියවන එසියල්ලටම වඩා මට පුද්ගලිකව බැඳුනෙකි.

මුලින්ම මට ඔහු හමුවන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 9G පන්තියේදීය. ඒ වනවිට මා එකී පාසලේ වසර 9ක්ද, පහේ ශිෂ්‍යත්වය සමත්වී පැමිණි ඔහු වසර 4ක්ද පසුකොට තිබිණ. 6 වසරේ සිට Best Class නමින් විශේෂිත පන්තියක් වෙන් කොට තිබු පාසලේ එකී වසර 4 පුරාම මා ඔහුගෙන් ඈත්ව ගතකොට තිබිණ. 6 වන වසරේදී පමණක් එකී පන්තියට ඇතුලත්ව සිටි මා, 6 වන වසර අලුතින් එන ශිෂ්‍යත්ව සමතුන් හා උරිනුර ගැටී 7 වන වසරෙදි නැවත ඇතුලත්වන්නට අපොහොසත් වීම එකී දුරස් වීමට හේතුව ලෙස ඔබ තේරුම් ගන්නට ඇතැයි හඟිමි.

Best Class එකේ සිටියදී කෙසේහෝ තරගකාරීව අධ්‍යන කටයුතු සිදුකොට එහිම එල්ලී සිටීමට තිබු උනන්දුව ගිලිහ තිබු මා ක්‍රිකට් ගැසීමටත් රුපවාහිනි ක්‍රිකට් තරග නැරබීමටත් තදින්ම එල්බ සිටියේය. ඇතැම් වාර විභාග සවස් වරුවේ පවතින විට එකී වෙලාවට පෑ දෙකතුනක් කලින් පාසලට ගොස් එම කාලයේදීද මිතුරන් හා ක්‍රිකට් ගසා මුහුනකට සෝදාගෙන කෙලින්ම විභාග ශාලාවට පිවිසීමට තරම් එකී ඇබ්බැහිය උග්‍රව සිටි අයුරු අදද මා හට සිහි කලහැක.

නැවත 9 වන වසරේදී දක්ෂතා දක්වා මා එකී පන්තියට උසස්වීයි ඔබට හිතන්නට ඉඩක් නොතබාම ඒගැන මවිසින්ම හෙළි කරමි. 9 වන වසරේ සිට 9F හා 9G ලෙස පන්ති දෙකක් නොතිබෙන්නට අද වනවිට මා කොහේ සිටීදැයි සිහි කරන්නට වෙර නොදරන්නේ ඉන් පලක් නැති නිසාමය. මක්නිසාදයත් යටකී ප්රානසම මිතුරා මා අද මේ සිටින තැනට සීරුවෙන් රැගෙනවිත් තිබෙන බැවිනි. ඔහු මා හා ඇසුරට පත් වන්නේද දයිවෝපගත අයුරකිනි. S අකුරින් නම ඇරඹි ඔහු T අකුරින් නම ඇරඹි මට ස්ථාන 3/4 කින් ඉදිරියෙන් සිටියත් වමත් කරුවන් දෙදෙනෙකු වීම නිසා දකුණත් කරුවන් රැසක් අතර සිට ලිවීමට ඇති අපහසුවෙන් මට ඔහු අසලින් හිඳන්නට ලැබිණ. එතැන් ඇරඹි ඇසුර තුල ඔහු කිසිදා මට බලෙන් පාඩම් වැඩට උනන්දුවක් ඇති කිරීමට නොවෙහෙසුනි. හැමදාමත් පළමු ස්ථාන කිහිපයේ රැඳුනු ඔහු, ඉගෙනීමට ඇති කැමැත්තත් ඉන් යාහැකි දුරත් සියුම් පෙළඹවීමකින් පෙන්වාදුන් මිතුරෙක් මතු නොව අපුරු ගුරුවරයෙක්ද වූබව ඔහුට ගෞරව පිණිස මෙහිලා ලිවිය යුතුවම ඇතත් මේ සටහන දකින ඔහු එය ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය. එහෙත් සත්‍ය කිසිදා සඟවනු නොහෙන බව අවසන් වශයෙන් ලියාතබමි. චිරං ජයතු සබඳ !! (Shyamike Kankananarachchi මේ ඔබ ගැනයි)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s