“ජඩ්ඩා”

හේ නමින් උදේශ් ජාගොඩය. එත් අපිට කටපුරා “ජඩ්ඩා”ය. බෙන්තර ගගින් එගොඩෙහි දකුණු ලක අගනගරේ මහා ගනං කාරයා වී චිරාත් කාලයක් වැජඹුනු හේ අපුරු ගුරුවරයෙකි. තමන් ලඟට ටියුෂන් ගන්නට එන ළමයින් ගණන වැඩි කරගන්නට පෝස්ටර්, බැනර්, කටවුට් ගසන කාලයක ඔහු මහින්දෙ තමන්ගේ පන්තියේ උන්ට නොමසුරුව ගණන් ඉගැන්නුවේය . පන්තියේ උන්ට නැවත ටියුෂන් ඇවිත් උගන්නට තවත් කිසිවක් ඉතිරි නොකළේය. ඒ පබ්ලිසිටියෙන්ම හේ අනිත් ගුරුන් පරදා ටියුෂන් ලොව කප් ගැසුවේය. එවන් තවත් එකම එක ගුරුවරයෙකු මගේ අවුරුදු 33 ක දිවි මගේ එකම එක සැරයක් හමුවූ බව ඔහුට ගෞරව පිණිස මෙහිලා නොලියම බැරිය. එතුමන් රිච්මන්ඩ් විදුහලේ උ/පෙළ 12E පන්තියේ අපට Physics උගැන්නු “පපන් ජූස්” නොහොත් ප්‍රේමතිලක සර්ය. ජඩ්ඩාද එවන් විරල ගුනැත්තෙකි.

ජඩ්ඩාගේ පන්තියට යාමට පෙරම ඔහු මට හමුවී තිබුණි. ඔහු මල්වැන්න මිස්ගේ විද්‍යා පන්තියේ ගණන් උගන්නට ගියදා පටන් ඔහුගේ ගාල්ලේ පන්තියේ කාඩ් ගසන්නට ලැබුනේ අපේ තාත්තාටය. තාත්තගේ පුංචි ප්‍රින්ටින් ප්‍රෙස් එකේ ඔහු වෙනුවෙන් සිය දාස් ගණනින් කාඩ් ගැසුනේය. ඇදවී ගිය, තීන්ත තැවරී අපතේ ගිය කාඩ් තෝරා සෙස්ස දාහේ බන්ඩල් සාදා රබර් බෑන්ඩ් දමා, තාත්තාට උදේට පන්තියට ගෙනයන්නට උදවු කළ සොඳුරු අතීතෙන් වැඩිම කාලයක් වෙන්කර ගත්තේ ජඩ්ඩා බව කටපුරා කිවහැක. ජඩ්ඩා අපේ දුරින් නෑයෙක්ද වූ නමුත් ඔහුගේ පන්තියේ කාඩ් ගසන්නට තාත්තට සෙට් වී තිබුනේද දෛවෝපගත ආකාරයකිනි. ජඩ්ඩාගේ ගාල්ලේ පන්තිය තිබුනු මල්වන්න මිස්ගේ බිල්ඩිම පිහිටා තිබුනේ වක්වැල්ල පාරේ ප්‍රසිද්ධ වෙස්ටෙන්ඩ් ස්ටුඩියෝව පිටිපස්සේය. ඊට ඇතුළුවන්නට තිබුනේ පරණ මයිනර්, හිල්මන්, ෆියට්, ෆෝර්ඩ් දෙපසින් පාර්ක් කෙරුණු කුඩා පාරක් ඔස්සේය. පන ගියත් කිසිදා නොසිඳෙන පරණ කාර් පිස්සුවෙන් පෙළුණු තාත්ත අවසානෙදි එම කාර් හිමිකාරයාගේ ඥාතීත්වයෙන් මුලින් මල්වන්න මිස්ද පසුව ජඩ්ඩාද අල්ලාගත් බවක් නිතරම කීවේ “ඔය පරණ යකඩ කෑලි කන්නදැයි” නිතර අසන අම්මගෙන් ගැලවීමට නොවන බව මට ඉඳුරාම කිවහැක.

ජඩ්ඩා ගැන දෙවන මතකය හිරිඹුර හන්දියේ මාර්ග තදබදය සේම පැරණිය. හිරිඹුර පැන කහදුවවත්ත කරා යන කාටත් ජඩ්ඩාගේ පන්ති ඇරෙන වෙලාවල්ද, පුංචි වැස්සටත් උතුරන කානුවද එකසේ කරදර කල බව නොලියාම බැරිය. ඒ කරදර ඉවසා දරා ගෙන ඔතනින් යන්නට හිත හැදුවේ ජඩ්ඩාගේ පන්තියෙන් එලියට එන පට්ට කෑලිද නැතනම් චේන් එකටත් කරවටක් උඩින් පිරුණු වතුරේ බයිසිකල් පැදීමට තිබුණු නොනිත් අසාවදැයි එකිනෙක නොලිහී පැටලුනු නූල් බෝලයක් වැන්න.

තුන්වන මතකය අද මේමොහෙතේද හිත පෙළන පිය විප්පයෝගයකින්ද නොකැඩී සදා පවතින තීව්‍ර බැඳීමකි. ඉංග්‍රීසි පන්තියකටද, 9 වසර සඳහා සාමාජිකයින් 3/4 දෙනෙකුන්ගෙන්ද සමන්විතවූ කුඩා විද්‍යා/ගණිත පන්තියකට ගිය මට ලොකු පංතියකදී හමුවූ මුල්ම ගුරුවරයා ජඩ්ඩාය. එම පන්තිය ඇරබී දිනදෙකතුනකින් රංජිත් සර්ගෙ විද්‍යා පන්තියටද ඇතුළුවුනු බවද මතකය. ජඩ්ඩා ඇත්තෙන්ම හරිම වෙනස්ය. පන්තිය ඇරබීමට පෙර මිදුලේ උන් කාලයේද අපි ඔහුගෙන් අපුරු දෑ උගත්තෙමු. නව ගුනවැලක් දරා ගෙන හිටි ගමන් මිදුලේ ගස් අතරින් මතුවන අපිස් තපෝවෘද දිවියක් ගතකළ සුමනැන්ටි නොහොත් ජඩ්ඩාගේ අම්මට අපේ කෑ කෝගැසීම් අදත් වදයක් වී ඇති බව රකුසු වෙස්ගෙන පන්තියට කඩා වදින ජඩ්ඩාගේ මුණ පෙරහරේ මුලින් එන කස කරුවා සේ අපට භීතියද සංත්රාසයද නොගෙනා එකදු දවසක් නොවූ බව අද මෙන්ම මතකය. පන්තිය පටන් ගැනීම හිතා මත පමාකළ හෙතෙම එතැන් පටන් ගෙන එන්නේ දිගු කර්කශ දේශනයකි. එහි හැමදාමත් මුලින්ම කියවෙන්නේ මගේ මේ පන්තිය නිසා ගෙදර උදවියට බාධා සිදු විය නොහැකි බවයි. ඊළඟට මට මේ පන්තිය නැවතුවත් ඕනා තරම් ආදායම් මාර්ග ඇති බව කියන ඔහු එතැන් සිට ඊළඟ සතියේ මෙලෙසම නැවත කා කොගසා බැනුම් අසන තෙක් අපිව මීක් නොකියන්නට බය කර ගනී. ඊළඟ සතියේද නැවත සිදු උනේ කුමක්ද යන්න සිහි කර ගැනීම මේ සටහන කියවන ඔබට බාරය.

ජඩ්ඩාගේ උගන්නුම් ක්‍රමයේ අටෝ රාශියක් වූ ඔහුටම ආවේනික විධි ක්‍රම අතරේ වැඩි පුරාම මා සිත් ගත එක වුයේ ගණිතය 1 කෙටි පේපරයට අපව යොමු කල අයුරුය. බොහෝ පන්ති ආරම්බයේ සිටම ඒවා එගන්වූ බව අපේ යහළු මිත්‍රයෝ මගින් දන ගෙන සිටි අපව වරෙක කුතුහලයටද වරෙක තිගස්ස්මකට ලක් කරමින් ඔහු අගෝස්තු නිවාඩුව තෙක් රැගෙනවිත් ඊට යොමු කල ආකාරය අදද විස්මයකි.

ජඩ්ඩා ගැන කීමට තව බොහෝ දේ ඇතත් එසියල් හිතේ තද කරගෙන සමු ගැන්මේ සටහන තබමි. ඔබෙන් අකුරුද ගණන්ද ජිවිතයද ලද මට, ඔබෙ නිසල දෙණ ඉදිරිපිට හිඳ ඔබේ ගුණ සිහි කරන්ට කොළඹ ජයරත්න මල් ශාලාවට ඒමට නොහැකි වුවාට දහස් වරක් කමන්න. මා මෙන්ම අවිවේකි බොහෝ දෙනෙකු එම වරද සිදු කරනු ඇත. ඒ ගැන යලි යළිත් සමා වේවා ගුරු තුමනි! කණ්ණාඩියට යටින් හොරෙන් බලා වෙනදා හෙලන සරදම්සහගත සියුම් සිනාව නගන්නට ඔබ තවදුරටත් අප අසල නැත. කළු ලෑල්ල දෙස බලා ගෙන 4 වන පේලියේ වමේ සිට තුන්වන කෙනා කතාව නවතන්නයැයි කියා තරවටු කරන්නට ඔබ අප අසල නැත. මෙවන් කෙටි සටහනකින් කිවනොහැකි බොහෝ ගුණ අපේ හිත් පතුලේ සිරකොට ඔබ දෙවියන් අතරට ගොස් ඇත. පුහුදුන් අපේ නැණැස ද මනැස ද පෑදු ඔබ දෙවියන් අතරම රැඳෙනු ඇත!! ඔව්, ඔබට මොක් සුව ගුරු පියාණෙනි!!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s