මට මතක සඳුන්….

ඔහු මට වඩා අවුරුද්දක් බාලයි. ඒත් එකම ඉස්කෝලේ. එකම දහම් පාසලේ. හැබැයි අල්ලපු ගමේ.

ඔහු ගැන මගේ මුල්ම මතකය එන්නෙ අපේ පන්සලෙන්. අනික් හැම දහම් පාසලක්ම වගේ අපේ එකෙත් පන්ති තිබුනේ බිත්ති වලින් වෙන් නොකරපු ධර්ම ශාලාවේ ඔක්කොම එකට. එකලඟ පන්ති තිබුනත් පන්ති ගොඩක් නිසා එක පන්තියක කියන දෙයක් තවත් පන්තියකට ඇහුනේ කලාතුරකින්. එත් සඳුනා උන්ගේ පන්තිය ඉස්සරහට ඇවිත් කතාවක් කරන දාට අපිට නිවාඩු වගේ. උගේ කට එච්චරටම එච්චරටම සද්දයි.ගැඹුරුයි. හැබැයි ඒ කතාව අහං ඉන්න හරි ආසයි. ඒ වගේ වාචාල කටක් අපේ පන්තියේ තිබ්බනම් නම් තිබ්බේ මහින්දෙ ගයාන් දුල්ශාන් (මූඩි) ට විතරමයි.

දහම් පාසලෙන් පටන් ගත්ත අපේ හැඳුනුම්කම රිච්මන්ඩ් එකේදී තවත් වැඩි වුනා. මං වගෙම සඳුනුත් එකේ ඉඳන්ම ගියේ රිච්මන්ඩ් එකටමයි. ප්‍රයිමරිය පටන් ගනිද්දිම A අකුරේ ඉඳන් E වෙනකම් එකම වසරක් වෙනුවෙන් පන්ති පහක් තිබුන අපේ ඉස්කෝලේ සාමාන්‍යෙන් එක බිල්ඩින් එකක තිබුනේ එක වසරක පන්ති විතරයි. පහල පන්තියක හිටිය සඳුන්, වඩා දුරකින් බිල්ඩින් පිහිටපු අපේ ඉස්ස්කොලේදී මට මුණගැහෙන්නේ කලාතුරකින්. හැබැයි වතාවක් එක දවසකදී අනිවා හම්බුවෙනවා මට අද වගෙ මතකයි. ඒ අපේ පොඩි ප්‍රයිස් ගිවින් එකදා. කන්නන්ගර ශාලාව නොතිබුණු ඒකාලේ ඒක තිබ්බේ කොටස් දෙකකට කඩලා. මුල් වසර දෙකටම සිඟිති දිනයක් තිබිල තුන වසරේ ඉඳන් තමා මට මතක හැටියට ප්‍රයිසස් දෙන්න ගන්නෙ. (අවුරුදු වසිපහකට විතර ඈත මතකය අවුස්සද්දි පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන් බව නිහතමානිව සිහිකරන ගමන් කියවන ඔබට ඒ වැරදි කමා වෙලා නිවැරදි කරන ලෙස ආයාචනා කරමි). එතකොට මම හතරේ ඉඳිද්දී වෙන්න ඇති මට මුලින්ම මේ කොලු ගැටයා දකින්න ලැබෙන්න ඇත්තේ. පන්ති ත්‍යාග, විෂය ත්‍යාග සහ දක්ෂතා ත්‍යාග ආදී එකී මෙකි නොකී තෑගි මල්ලක් කර පින්නගෙන වේදිකාවෙන් බැහැලා, අම්මල දෙන්නත් එක්ක මුලින් කලේගාන-කරාපිටිය බස් එකෙනුත්, ඊළඟට හිරිඹුර හන්දියෙන් බද්දේගම බස් එකටත් එකම පාරෙන් එකටම ආපු ගමන කොහොම අමතක කරන්ද සොයුර!

සඳුන් උදේට ඉස්කෝලේ යන්න,බටුවන්තුඩාව පාර දිගේ ඊරියගහ හන්දියට ඇවිත් බද්දේගම පාරට වැටෙනවද නැත්නම් උළුවිටිකේ පන්සල පාරේ ඇවිත් බද්දේගම පාරට වැටිලා අපේ ගෙවල් පහුකරන් යනවද කියන්න මම හරියටම දන්නෙ නෑ. මොකද ඔහු පදිංචි වෙලා හිටියේ අපේ ගෙවල් වලට එහා නිසා. එත් සඳුන් මේ උදේ හවා අපේ ගෙවල් ඉස්සරහින්, රතට හුරු මෙරුන් පාට සපෝර්ට් සයිකලෙන් යන ගමන මගේ අවධානයට සෑහෙන කාලෙක ඉඳන් ලක්වෙලා තිබුනා. එතකොටත් මම ඉස්කෝලේ ගියේ වෑන් එකකයි. කල්යල් බලලා දවසක, මම සඳුන්ව අපේ අම්මටයි තාත්තටයි පෙන්නුවා. “අන්න බලන්න අර මල්ලි, එයා අපේ පහළ පන්තියේ වෙලත් දැනටත් ඉස්කෝලේ යන්නේ බයිසිකලෙන්. ඒත් අම්මලා මට තාම යන්න දෙන්නෙ නෑ. මොකද මම බබෙක්ද?……” සඳුන්ට ජන්මෙන්ම ලැබිලා තිබ්බ තමන්ගෙ වයසට වඩා ලොකු වැඩ කරන්න තිබ්බ හයිය මුලින්ම මට පිහිට උනේ ඔන්න ඔහොමයි. ඒ මාසෙට වෑන් කුලිය ඒවෙනකොටත් ගෙවල තිබ්බ නිසා ඒ මාසේ එහෙමම ගියත් ඊළඟ මාසේ ඉඳලා මම වෑන් එකෙන් සයිකලේට ප්‍රමෝට් උණා.

කඳුළු ගෙඩි පනින්න දඟලන මේ ඇස් දෙක තද කරන් අකුරු කොටන මට, මල්ලි උඹ ගැන කියන්න කතා ගොඩක් තිබුනේ නෑ හොඳ වෙලාවට. තිබුනත් කියන්න වෙන එකකුත් නෑ බං. අන්තිම වසයෙන් මට කියන්න තියෙන්නෙ, උඹවන් පුතෙක් වැදූ උඹේ මවුත්, උඹට අකුරු කියාදී කොන්ද පන ඇති කොල්ලෙක් බිහිකළ අපේ රිච්මන්ඩ් මවුත්, උඹව විරුවෙක් කළ ලක් මවුත් සැබවින්ම නිවුණෝම බව පමණයි…….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s